අභිනව රජයේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේය

සුගත් තිලකරත්න මහතා නෝටන්බ්‍රිජ් විදුලිපුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය. ඔහු 1991 වර්ෂයේ දී මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ පළමු වරට කරලියට පැමිණ අනුර බණ්ඩාර පුහුණුකරුගේ මග පෙන්වීම ඔස්සේ ඩබ්.විමලධර්ම ක්‍රීඩකයාට අයත් වසර 19 ක් පැරණි මීටර් 400 ශ්‍රී ලංකා වාර්තාව තත්පර 47.17 ක් ලෙස බිද හෙලීමට සමත් විය. අනතුරුව ඔහු වසර ගණනාවක්ම එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් විය. ඉන් අනතුරුව පැවති ජාතික ජාත්‍යන්තර තරගාවලි රැසක වාර්තා තමා සතු කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් ලෙස “විදුලිපුර විදුලිය” නම් අනුවර්තනීය නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලට සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් සොඳුරු මතකයන් තැබූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයෙකි.

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික, දකුණු ආසියානු මළල ක්‍රීඩා සංගමයේ උප සභාපති, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ ලේකම් ලෙස ද, උප සභාපති ලෙස ද කටයුතු කර ඇති සුගත් තිලකරත්න මහතා ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තු වරම් ලබාගත් පළමු ඔලිම්පික් ක්‍රීඩකයා ලෙස ද ඉතිහාසගත වනු ඇත.